Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Monday 4 January 2010

"පොදු අපේක්‍ෂකයා" දේශප්‍රේමය හා මිලිටරිකරණය

මෙම ලිපිය විශේෂ වශයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ "පොදු අපේක්‍ෂකයා" නමැති කවන්ධය කර තබා යන ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ සාමාජිකත්වයටයි. විවිධ හේතූන් නිසා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා "පොදු අපේක්‍ෂකයා" හෝ "නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා" යෑයි හැඳින්වීමට මම නොකැමැත්තෙමි. ඔහු "පොදු අපේක්‍ෂකයකු" හෝ "නිර්පාක්‍ෂික අපේක්‍ෂකයකු" නොවේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ නොව, ඡන්ද ලබාගත හැකි වෙනත් ප්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායකත්වයෙන් අවසරය ලැබුණේ නම් "පොදු අපේක්‍ෂකයකු" පහළ වන්නේ නැත. එමෙන්ම ආණ්‌ඩුව ජනතා විමුක්‌ති පෙරමුණේ අපේක්‍ෂාව පරිදි එම පක්‍ෂය හා මැතිවරණ ගිවිසුමකට එළඹ මුලින්ම මහ මැතිවරණයක්‌ පැවැත්වූයේ නම් "පොදු අපේක්‍ෂකයකු" ගේ බිහිවීම සිදු නොවේ. විපක්‍ෂයේ තනි පක්‍ෂයකට බලයේ සිටින ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් පරාජය කළ නොහැකිය යන නිගමනය ඇති වන්නේ යුද ජයග්‍රහණය හා පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල නිසාය. "රාජපක්‍ෂවරුන්" ගෙදර යෑවිය යුතුය යන විපක්‍ෂයේ සටන් පාඨය ක්‍රියාවට නැංවීමට නම් එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු හෝ ජනතා විමුක්‌ති පෙරමුණේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට ඔවුනොවුන්ගේ ඡන්ද ලබාගත නොහැකි වේ යෑයි මේ පක්‍ෂ දෙකම දැන සිටියාය.

"පොදු අපේක්‍ෂකයා" පහළ වීමේ දේශීය සාධකය එක්‌ එක්‌ පක්‍ෂවල න්‍යාය පත්‍ර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තවදුරටත් රැඳී සිටීම් හා වරප්‍රසාද භුක්‌ති විඳීමේ දේශපාලනික අතිජීවනය නිසා තීරණය වුවක්‌ මිස රට හා ජනතාව ගැන සිතා නිශ්චය වූවක්‌ නොවේ. එහි ජාත්‍යන්තර සාධකය තීරණය වූයේ මීට පෙර යුද්ධය පැවැති කාලයේ සිට ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වූ රට පාලනයේ වෙනසක්‌ (හෙවත් "රෙජීම් ෙච්න්ඡ්" එකක්‌) ඇති කිරීමේ අරමුණු ඉටුකර ගැනීමේ උපායාසයයි. මෙයද පාඨකයා දන්නා කරුණක්‌ හෙයින් විස්‌තර කිරීම සඳහා උදාහරණ සැපයීම අවශ්‍ය නොවේ. විශ්‍රාමලත් ජෙනරාල්වරයාගේ ජයෝන්මාදය, චිත්ත චෛතසිකයන්, ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ඇති වූ ප්‍රතිවිරෝධයන් සතුරු ප්‍රතිවිරෝධක බවට පත්වීම හා මිලිටරි නායකයකු වීම නිසාම මතු වු බලකාමය හා යසකාමය ඔහු දේශපාලනය කරා තල්ලු කළේය.

"පොදු අපේක්‍ෂකයකු" ට සහාය දැක්‌වීම තුළින් ඇති වී ඇත්තේ අසමානයන් පිරිසකගේ සම්මිශ්‍රණයක්‌ හා සහවාසයකි. ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ සාමාජිකත්වය දැනගත යුතු වන්නේ "පොදු අපේක්‍ෂකයා" නිර්පාක්‍ෂිකයකු හෝ "පොදු අපේක්‍ෂකයකු" නොවන බවය. ඔහු කරළියට ආ පළමු වටයේදීම එක්‌සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ යෑයි කීවේය. ඔහු එක්‌සත් ජාතික පක්‍ෂ සමුළුවට සහභාගි වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ පළඳනාව පැළඳගෙනය. ඔහු ඉදිරිපත් වී ඇත්තේ ද එක්‌සත් ජාතික පක්‍ෂයේ අතුරු පක්‍ෂයක සලකුණ වන හංසයා ලකුණිනි. විපක්‍ෂ නායකයා අලුත් ආණ්‌ඩුවේ විධායක අගමැතිවරයා වීමට බලා සිටී. හංසයා දිනවා එක්‌සත් ජාතික පක්‍ෂය දිනවන මෙන් එක්‌සත් ජාතික පක්‍ෂ කථිකයෝ ඉල්ලා සිටිති. මෙම සන්ධානයේ වැඩි බලයක්‌ ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයටයි. එහෙයින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත්, ජයග්‍රහණය කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ සංරක්‍ෂකයා හෙවත් ප්‍රතිපුරුෂයාය. පෙරකලාසිකරුය. ඡන්දදායකයා හංසයා එක" හෝ "හංසයා දෙක" හෝ කියා එක්‌සත් ජාතික පක්‍ෂයේ හංසයකුට හා ජනතා විමුක්‌ති පෙරමුණේ හංසයකුට ඡන්දය දෙන්නේ නැත. අනෙකුත් පක්‍ෂවල ඡන්ද ලකුණු නැති වී ගොස්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සීනුව දිනන බවට කළ ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය විහිළු කතාවක්‌ පමණි. "පොදු අපේක්‍ෂකයාගේ" ආගමනය නිසා වැටී සිටි එක්‌සත් ජාතික පක්‍ෂයට කිසියම් ආකාරයක උත්තේජනයක්‌ ලැබී තිබේ. "පොදු අපේක්‍ෂකයා" ඉදිරියේදී ජනතා විමුක්‌ති පෙරමුණට වාසියකට වඩා අවාසියක්‌ ගෙන එනු නිසැකය.

එක්‌සත් ජාතික පක්‍ෂය හා මේ සන්ධානයේ අනෙකුත් සාමාජිකයන් ගැන ජනතා විමුක්‌ති පෙරමුණට වූ විවේචනය අප යළි සිහිපත් කළ යුතු නැත. 1988-89 කාලයේදී ගොදුර දඩයක්‌කාරයාත්, දඩයක්‌කාරයා ගොදුරත් බවට පත්වී එකිනෙකා හඹා ගිය අයුරු යළි මතක්‌ කොට දිය යුතු නැත. රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුව පෙරළා දැමීමට මුල් වූයේද ජනතා විමුක්‌ති පෙරමුණයි. රනිල් වික්‍රමසිංහ කොටින් හා ඇති කරගත් ඊනියා සටන් විරාම ගිවිසුමට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ ඉටු කළේ සක්‍රීය වැඩ කොටසකි. සුනාමි සහන මණ්‌ඩලය හා උතුර හා නැගෙනහිර දෙපළාත් වෙන් කිරීම පිළිබඳව ගත් අධිකරණ ක්‍රියාමාර්ග ද මෙහිදී කැපී පෙනේ.

මේ සන්ධානයේ අනෙකුත් සාමාජිකයන්ට, විශ්‍රාමලත් ජෙනරාල්වරයා, "සන්ඩේ ලීඩර්" පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සතුටට හේතුවක්‌ වී ඇති බවට කිසිදු සැකයක්‌ නැත. එහෙත් ඉන් මහත් අසීරුතාවකට හා අර්බුදයකට පත්වූයේ ජනතා විමුක්‌ති පෙරමුණයි. අමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින මෙරට ප්‍රධානීන් අමෙරිකාවේ පුරවැසිභාවය අත්හළ යුතු යෑයි කෑ ගැසූ ජනතා විමුක්‌ති පෙරමුණට අමෙරිකානු "ග්‍රීන් කාර්ඩ් ධාරියකු" කර තබාගෙන යැමට සිදුවී ඇත්තේ ඉතිහාසයේ සරදමක්‌ විලසිනි. ජෙනරාල්වරයාගේ ප්‍රකාශය පාවාදීමක්‌ යෑයි කීමට ජනතා විමුක්‌ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයාට සිදුවී තිබේ. එම පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයා, "සන්ඩේ ලීඩර්" කතුවරිය හඬා වැළපුණු බව කියා ඇය වෙනුවෙන් දුක්‌ ගනියි. මෙම ප්‍රකාශය හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පිලිප් ඇල්ස්‌ටන් ලංකා ආණ්‌ඩුවට එවන ලද ලිපිය හා සම්බන්ධයක්‌ නැතැයි ද එය ආණ්‌ඩුව හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා එක්‌වී කරන ලද කුමන්ත්‍රණයක්‌ යෑයි ද කීමට තරම් ජනතා විමුක්‌ති පෙරමුණේ විදේශ කටයුතු භාර මන්ත්‍රීවරයා දීන තත්ත්වයට ඇද වැටී තිබේ.

"නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා" බලයට පත්වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට, දූෂණය හා නාස්‌තිය නැති කිරීමට හා යහපාලනය ඇති කිරීමට යෑයි ප්‍රකාශිතය. මේවා පසුගිය කාලයේදී මෙරට එන්. ජී. ඕ. ලොබිය විසින් ඉදිරිපත් කරන ලද පූර්ව කොන්දේසිය. එය එසේ කරන බවට දෙන පොරොන්දුවක්‌ පමණි. ඒ ගිවිසගත් දෙයක්‌, සම්මුතියක්‌ හෝ අවබෝධතා ගිවිසුමක්‌ මත ඇති කරගත් පොරොන්දු නොවේ. දිනෙන් දින ඔහුගේ පොරොන්දු වට්‌ටෝරුව වැඩි වෙයි. මැතිවරණ පළාත අනුව අලුත් පොරොන්දු එකතු වෙයි. මේවා ඉෂ්ඨ කිරීමට නම් ඔහුට අවුරුදු දොළහක්‌ පවා ප්‍රමාණවත් නොවේ. මහත් උත්ප්‍රාසය වන්නේ ඔහු "සූරාකෑම" ද අහෝසි කිරීමට යැමයි. එය ජනතා විමුක්‌ති පෙරමුණ දන්නා සමාජවාදයෙන් විය යුතුය. ඔහු පවසා ඇත්තේ තමාට ගොපල්ලව වැනි නාමමාත්‍රික ජනාධිපතිවරයකු වීමට අනවශ්‍ය බවයි. ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේ නම් ඔහුට ඔහු දෙන ආර්ථික පොරොන්දු පවා ඉටු කළ නොහැකිය. තමාට ආරක්‍ෂක කටයුතුවලදී හා අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතුවලදී වැඩි බලයක්‌ හා වගකීමක්‌ අවශ්‍ය බව ද තමා ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයකු විය යුතු බව ද ඔහු කියා තිබේ.

යම් හෙයකින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත් ඔහු කිසිදා සිය බලය අත්හැර දමන නායකයෙක්‌ නොවන්නේය. ඒ ඇයිදැයි පසුව සාකච්ඡා කරමු. තම විශ්වසනීයත්වය පෙන්වීමට ඔහු තමා පොරොන්දු දෙකක්‌ ඉටු කළ බව කියයි. ඒවා නම්, යුද්ධය වෙනත් හමුදා නායකයකුට ඉතිරි නොකිරීම හා ප්‍රභාකරන්ට මෙම වසරේදී "මහා වීර" දිනය සැමරීමට ඉඩ නොදෙන බවයි. මේ නම් පොරොන්දු ඉටුකිරීමක්‌ නොවේ. ඒවා දේශපාලන පොරොන්දු ඉටුකිරීම හා සම කළ නොහැකිය. යුද්ධයට මීට පෙර ද කාලසටහන් පැවතිණ. එහෙත් යුද්ධය අවසන් වූයේ නිසි දේශපාලන නායකත්වය, හමුදා හා ආයුධ ශක්‌තිය ලබාදීම, ජාත්‍යන්තර බලපෑම්වලට යට නොවීම හා කොටින් විසින් කරන ලද බරපතල මූලෝපායික වැරදි නිසා මිස, හමුදාපතිවරයාගේ පුද්ගලික කැමැත්ත හෝ වරණය අනුව නොවේ. විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම හා ඒවා අතර සම්බන්ධයක්‌ නැත. කොටි පරාජය කිරීම සඳහා ව්‍යවස්‌ථාවෙන් පනවන ලද සීමාකම් හෝ විධිවිධාන නොවීය. යුද්ධයෙන් පසුව ජනාධිපතිවරයා විදේශ පුවත්පතකට ප්‍රකාශ කළේ තමා ප්‍රභාකරන් වූයේ නම් පසුබැස ගරිල්ලා යුද්ධයක්‌ ආරම්භ කරන බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළද, එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්‌ති පෙරමුණට තම පෙරකලෑසිකරු යෑයි කියා ඔහු ඉවත් කළ නොහැකිය. තමන් හා දැන් එක්‌වී සිටින්නන් රට පාලනය කරද්දී දූෂණයෙන් හා වංචාවෙන් තොර යහපාලනයක්‌, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ පැවතියේ ද යන්න "පොදු අපේක්‍ෂකයා" සිතා නැත.

ඇතිවී ඇත්තේ ද, ඇතිවෙමින් පවතින්නේ ද අවුල් ජාලයකි. යම්කිසි ලෙසකින් විශ්‍රාමලත් ජෙනරාල්වරයා ජයග්‍රහණය කළහොත් ඇතිවන්නේ අරාජික තත්ත්වයකි. මේ අරාජික තත්ත්වය ඇතිවන්නේ පළමු කොටම ආරක්‍ෂක අංශ තුළටම ජනාධිපතිවරයාම සේනාධිනායකයා වශයෙන් මර්දනය ගෙන ඒමෙනි. එය හමුදාව තුළ කැරලි ඇති කරනු ඇත.

කෙනෙකු විධායක ජනාධිපති වීමට සැරසෙද්දී තවකෙක්‌ විධායක අගමැති කෙනකු ගැනද, ත වකෙක්‌ භාරකාර ආණ්‌ඩුවක්‌ ගැන ද තවත් සරත් කෙනකු ගැන ද කියයි. මිලිටරි ජුන්ටාවක්‌ යටතේ අමාත්‍ය මණ්‌ඩලය සීමා කළ හැකි වුවද පවත්නා ලෙසින් ආණ්‌ඩුවක්‌ ගෙන යැමට නම් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පවත්වාගෙන යැමට සිදුවේ. එහෙයින් පවත්නා ක්‍රමයම ගෙනයැමට නම් දේශපාලන කෝඩුකාරයෙක්‌ අවශ්‍ය නොවේ. "පොදු අපේක්‍ෂකයාගේ පරාජය හමුවේ ජනාධිපතිවරණය අයථා, දූෂිත එකකැයි පවසා ඉරානයේ ජනාධිපතිවරණයේදී මෙන් මෙරට පෙළපාලි, උද්ඝෝෂණ හා කැරළි කෝලාහල ඇති කිරීමට ඉඩ තිබේ. බණ්‌ඩාරගමදී හා කිරිබත්ගොඩදී ඇති වූයේ එහි පෙරහුරුවක්‌ විය හැකිය. ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයා විදේශීය මැතිවරණ නිරීක්‍ෂකයන් අනවශ්‍ය යෑයි කීවද, ඔවුන්ගේ සීමාකම් ගැන කීමද මෙහිදී නොසලකා සිsටිය නොහැකිය. මැතිවරණ කොමසාරිස්‌වරයා නාමයෝජනා බාරගන්නා විට මැතිවරණ නිරීක්‍ෂකයන් ගැන කියද්දී ජනතා විමුක්‌ති පෙරමුණු නියෝජිතයා නිහඬව සිටියේය.

අනෙක්‌ අතට රටේ කාර්මික සාමය බිඳ දමමින් ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ෙත්‍රෙපාර්ශ්වීය කම්කරු සබඳතා නොසලකා හරිමින් විශ්වවිද්‍යාල ද අරාජික තත්ත්වයට පත්කරන සිය අනුග්‍රාහක සාන්තුවරයා සමඟ "පොදු අපේක්‍ෂකයා" ට සාමකාමීව ගනුදෙනු කළ නොහැකිය.

විශ්‍රාමලත් ජෙනරාල්වරයාගේ දේශපාලන ආගමනය ආණ්‌ඩුව මිලිටරිකරණය වීමේ පළමු පියවර වෙයි. යුද්ධය පැවැති සමයේදී රට මිලිටරිකරණය වී ඇතැයි ද නිර්යුදකරණයක්‌ ඇතිවිය යුතු යෑයි ද හඬ නැඟූ සාම වෙළෙඳුන් ජනතා විමුක්‌ති පෙරමුණ සමඟ එකම වේදිකාවට නැගීමෙන් පෙන්වන්නේ බලකාමය හා වෛරී දේශපාලනය කුමන ආකාරයේ එක්‌ යහනාවක එකට සැතපෙන්නන් තනන්නේ ද යන්නයි. යුද සමයේදී රටින් පලාගිය සාම වෙළෙඳුන් ද වූ එන්. ජී. ඕ. සිටුවරයන් අද ජනතා විමුක්‌ති පෙරමුණට "සමාජ සාධාරණත්වය" වෙනුවෙන් පෙනී සිටිය හැකි යෑයි කියන තරමට රූපාන්තකරණයට පත්වී තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණ කී පරිදි සතුරා අතරට පලාගියවුන් ද මේ වේදිකාවට පැමිණ ඇත. මේ ඇයිදැයි ජනතා විමුක්‌ති පෙරමුණ කල්පනා කළ යුතුය.

ජෙනරාල්වරයා සිය පෝස්‌ටරය සඳහා මිලිටරි ඇඳුම යෙදීමට මහත් කැමැත්තක්‌ දක්‌වන බව පෙනේ. එය කාකි නිල ඇඳුම, පිත්තල බොත්තම් හා පදක්‌කම්වලට යටින් එබඳුම චෛතසිකයක්‌ ඇති බව පෙන්වා දෙයි. ඔහුගේ මැතිවරණ සටන "මෙහෙයුමක්‌" යයි නම් කොට තිබේ. ඔහු අලෙවි කරනු ලබන්නේ ද මිලිටරි නායකයකු ලෙසිනි. පුවත්පත් සාකච්ඡාවලදී ඔහු නිතර නැපෝලියන් උපුටා දක්‌වයි. ඒ බොනපාට්‌වාදී පාලනයක පෙරනිමිතිය. යුද්ධයේ අවසානයෙන් පසුව ජෙනරාල්වරයා උතුරේ හමුදා ගම්මාන පිහිටුවීමට ද වඩ වඩාත් භටයන් බඳවා ගැනීමට ද යෝජනා කොට සිටියේය. අවශ්‍ය විණි නම් බලය ඇල්ලීමට කොළඹට සේනාංකයක්‌ එවිය හැකිව තිබිණි යෑයි ඔහු කීවේ කිසිදු හිරිකිතයක්‌ නොමැතිවය. අද අවතැන්වූවන් ගැන කතා කළද, අවතැන්වූවන් යළි පදිංචි කරවීමේ කඩිනමක්‌ එදා ඔහුට නොවීය. ආරක්‍ෂක ලේකම්වරයා යුද අධිකරණයක්‌ ඉදිරියට කැඳවිණි නම් තමා ඔහු ගලවා ගැනීමට කිසිවක්‌ නොකරන බව ඔහු කියා සිටියේය. තමාට කුණු සුද්ද කිරීමට ඇති බවත් ඒ සඳහා කාලයක්‌ ගතවන බවත් එවිට තමාගේ අත ද අපිරිසිදු වන බවත් ඔහු පුන පුනා කියයි. එහිදී කුණු පමණක්‌ නොව ලේ ද තවරා ගැනීමට ඔහුට සිදුවිය හැකිය. දූෂිතයන්ට දඬුවම් ලබාදීමක්‌ ගැන නිතර අසන්නට ලැබේ. ඒ කුමන විදියේ දඬුවම් ද අධිකරණ ක්‍රියාමාර්ග ඔස්‌සේ ලබාදෙන දඬුවම් ද යන්න පැහැදිලි නැත. පුවත්පත් වාර්තාකරුවකු කී දෙයක්‌ අසා "සන්ඩේ ලීඩර්" ප්‍රකාශය කරන තරමට ඔහු වගකීම් රහිතව ඉක්‌මන් වූයේ නම් ඔහු විධායක ජනාධිපති බලතල කෙසේ භාවිත කරනු ඇද්දැයි පැහැදිලිය. ජනාධිපතිවරයා වුවහොත් ජනාධිපතිවරයා වීමේ අනුහසින් සේනාධිනායකයා ද වූ පසුව ඔහු තමා හා නොපෑහුණු හමුදා නිලධාරීන්ට කෙසේ සලකනු ඇද්ද යන්න සිතාගත හැකිය.

මේ කරුණු අනුව පෙනී යන්නේ, එසේ නම් දකුණ යළි ගිනි ගන්නා බවයි. පවත්නා ව්‍යවස්‌ථාව අනුව විධායක ජනාධිපති ධුරය, සිල්ලර බඩු කඩයක බඩු කිරන්නකුගේ තනතුර සේ අහෝසි කළ නොහැක්‌කක්‌ බව මේ අපේක්‍ෂකයාම දනියි. මේ ව්‍යාකූලත්වය අතරින් තමනට බලයට පත්වීමට හැකි යෑයි ජනතා විමුක්‌ති පෙරමුණ සිතන්නේ නම් එය බලවත් සිහිමුලාවක්‌ වන්නේය. දැන් "පොදු අපේක්‍ෂකයා" කටු ගොඩ ගැසීමක්‌ ගැන කීම භීෂණයේ ප්‍රකාශනයකි. මේ භීෂණයට ජනතා විමුක්‌ති පෙරමුණ ද එක්‌වනු ඇත.

යම් හෙයකින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේය යන්න මායාවක්‌ වේ. අපගේ මෙම ප්‍රකාශයට පදනම් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී අනුගමනය කළ යුතු ව්‍යවස්‌ථාමය ක්‍රියාමාර්ගයම නොවේ. "පොදු අපේක්‍ෂකයා" තමාට ලබා දුන් ආරක්‍ෂක මාණ්‌ඩලික තනතුරේ බලතල නැතැයි කීවේය. තමා විශ්‍රාම යන විට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස්‌ නොකළේ යෑයි අනියමින් කීවේය. (තමාට උසස්‌වීමක්‌ නුදුන් බව) තමාගේ බලතල වැඩි කොට ත්‍රිවිධ හමුදාවටම අණදීමේ බලය ඉල්ලා සිටියේය. තමාට විශ්වවිද්‍යාලයකින් සම්මාන උපාධියක්‌ ලබා ගැනීමට ඉඩ නුදුන් බව කීවේය. තමාට ලැබෙන ආරක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි කියමින් අධිකරණයේ පිහිට පැතීය. තමා ගමන් කරන විට මාර්ග වසා තැබිය යුතු යෑයි ඉල්ලා සිටියේය. යුද්ධයේදී 95% කට වඩා වැඩි කොටසක්‌ ඉටු කළේ පාබල හමුදාව යෑයි කියා සිටියේය. මේ අනුව ඔහුට තනතුරු හා බලය අවශ්‍ය බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. ඔහු පොරොන්දු වන දේ කිරීමට ද බලය අවශ්‍යය. එහෙයින් ඔහු ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති තනතුර අත්හරින්නෙක්‌ හෝ එම තනතුර අහෝසි කරන්නෙක්‌ හෝ නොවන්නේය.

ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්‌ති පෙරමුණට නැටවිය හැකි රූකඩයක්‌ ද නොවේ. එහි සිය ඉල්ලා අස්‌වීමේ ලිපියට තමනට අවශ්‍ය දේ එක්‌ කොට, ලියා දුන් සමහර කරුණු ඉන් ඉවත් කළේය. පුවත්පත් කලාවේදීන්ට දෙන ලද සාදයේදී ඔහු පැවැත් වූයේ තමාට පිළියෙළ කොට දුන් කතාව නොවේ. ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් වූ කරුණු ඔහු බැහැර කළේය. විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළද එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්‌ති පෙරමුණට ඔහු ඉවත් කළ නොහැකිය. පොරොන්දු කඩ කළේ යෑයි උසාවි යා නොහැකිය.

කොටි පරාජය කිරීමට අවශ්‍ය වුයේ අනුකම්පා විරහිත, දයා විරහිත හමුදා නායකයෙකි. ජනාධිපති තනතුරට අවශ්‍ය වන්නේ සාකච්ඡාව, සන්නිවේදනය, සහමතිය හා සම්මුතිය ගැන දන්නා, මානව සම්බන්ධතාවන්ගෙන් නිපුණ සිවිල් අත්දැකීම් සහිත නායකයෙකි.

ජනතා විමුක්‌ති පෙරමුණ සිය දේශපාලනය

ඇරැඹියේ දේශප්‍රේමය පෙරටු කොටගෙනය. ඒ දේශප්‍රේමය නිසාම ඔවුහු පාර්ලිමේන්තු දේශපාලනයට එළැඹීමෙන් පසුව යම්කිසි වැඩකොටසක්‌ ඉටු කළහ. ඔවුන් 1971 දීත්, 1988 - 89 දීත්, වර්තමානයේදීත් මාක්‌ස්‌ - ලෙනින්වාදීන් යෑයි මම නොසලකමි. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කරුණක්‌ වන නමුදු ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකලාපය මාක්‌ස්‌ - ලෙනින්වාදීන්ගේ එක්‌සත් පෙරමුණ න්‍යායටද සභාග ආණ්‌ඩු න්‍යායටද පටහැනිය.

"දේශප්‍රේමයේ විශේෂිත අන්තර්ගතය නිශ්චය කරනු ලබන්නේ ඓතිහාසික තත්ත්වයන් මගින්ය" යි මාඕ සේතුං කීවේය. හිට්‌ලර්ට ද දේශප්‍රේමයක්‌ වීය. ජපන් ආක්‍රමණිකයන්ටද දේශප්‍රේමයක්‌ වීය. ඇමෙරිකා එක්‌සත් ජනපදයටද දේශප්‍රේමයක්‌ ඇත. විදේශීය අත පෙවීම් නානා වෙස්‌ ගෙන පැමිණෙයි. දේශප්‍රේමීන්ට එය හඳුනා ගැනීමට ඉවක්‌ තිබිය යුතුය. අද සිදුවන්නේ කොටි යුදමය වශයෙන් පරාජය වුවද දේශපාලනිකව යළි ඉස්‌මතු වීමකි. ජනරාල්වරයාගේ දේශපාලන ආගමනය හා ඔහු වැඩම කරවන පෙරහැර දෙමළ ඩයස්‌පෝරාවේ කොටින්ට හඬ නැඟීමට යළිත් අවස්‌ථාව පාදා තිබේ.

ජනරාල්වරයා ජයග්‍රහණය කළහොත් තමනට බලයට පත්වීමට හැකි වෙතැයි ජනතා විමුක්‌ති පෙරමුණ සිය පහළ සාමාජිකත්වය තුළ විශ්වාසයක්‌ ඇති කර ඇත්නම් එය තදබල සිහිමුළාවකි. ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් හා කථිකයන් මේ අදහසම ඉදිරිපත් කොට එය "කොමියුනිස්‌ට්‌ උපක්‍රමයක්‌" යෑයි කීම වරදකි. ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ සාමාජිකත්වයද, කලකිරුණු වාමාංශික යන්ද, එය විශ්වාස කළ හැකි බැවින් එබඳු ප්‍රකාශ කිරීම ජනරාල්වරයාට වාසිදායක ඒවා වේ. තමා කොමියුනිස්‌ට්‌ ඉතිහාසය ගැන දන්නේ යෑයි පෙන්වීමට වඩා එය හානිකරය. එය සාමාන්‍ය ඡන්දදායකයාටද, ජනතා විමුක්‌ති පෙරමුණට ආකර්ෂණය වූවන්ටද බලපාන්නකි. එක්‌ ඇමැතිවරයෙක්‌ කියා සිටියේ රුසියාවේ කොමියුනිස්‌ට්‌වාදීන් කෙරෙන්ස්‌කිගේ තාවකාලික ආණ්‌ඩුව පෙරළා දමා බලය අල්ලා ගත් බවයි. එහෙත් සැබෑ තත්ත්වය වන්නේ ඔක්‌තෝබර් විප්ලවයට පෙර, කෙරෙන්ස්‌කිගේ තාවකාලික ආණ්‌ඩුව පිහිටුවන විට බොල්ෂෙවික්‌වරුන් ඉතා ශක්‌තිමත් තත්ත්වයක සිටි බවයි. එහෙත් අද සිදුවී ඇත්තේ 1927 දී චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සිදුවූ දක්‍ෂිණාංශික යටපත්වීම්වාදය, අතරමග සමාදානය හා පාවාදී යටත්වීම එවැන්නකි.

චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ වූ චෙන් ටූ - ශීයු, මෙසේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ හමුදා කුවෝමිංතාං දක්‍ෂිණාංශයට බාර කළේය. චියෑං කායි - ෂෙක්‌ කුමන්ත්‍රණයක්‌ කොට 1927 අප්‍රේල් මාසයේදී කොමියුනිස්‌ට්‌ පක්‍ෂ සාමාජිකයන් ඝාතනය කිරීම ඇරඹියේය. මෙයින් 1924 - 1927 විප්ලවය පරාජයට පත්විය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හා මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් හා එක්‌වීමෙන් තමන්ගේ ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි යෑයි ජනතා විමුක්‌ති පෙරමුණ සිතන්නට ඇත. එලෙසින්ම දේශපාලනයට කෝඩුකාරයකු වන "පොදු අපේක්‍ෂකයා" ඔස්‌සේ තමනට ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට හැකිවෙතැයි එම පාක්‍ෂිකයන් සිතන්නේ නම් එය දහවල සඳු හා තාරකා දක්‌නා වැනි දෙයකි. පක්‍ෂ ලේකම්වරයා හෝමාගමදී සීනුව දිනවන මෙන් කීවේ නම් අර්ථයෙන් විය යුතුය. පන්ති අරගලය කෙසේ වෙතත් අද ජනතා විමුක්‌ති පෙරමුණේ දක්‍ෂිණාංශික අවස්‌ථාවාදීන්ට, කොම්ප්‍රදෝරු ධනපති පන්තිය සිය ගජමිතුරන් කොට ගෙන උන්හා සාද පැවැත්වීමට, මහ හෝටල්වල සැරිසැරීමටද, දැන් හැකි වී තිබේ. පනස්‌ හයේ දරුවන්ගේ දරුවන් පනස්‌ හයට ෙද්‍ර`හි වී ඇති සැටි බලන්නෘ පැන් මුසු මිදි කසට බිව් කොටළුවන් කලහ කළ බැව් අපි දනිමු.

එදා ජනමත විචාරණයේදි බුද්ධිමතුන් ඇතුළු ඡන්දදායකයන්ගෙන් බහුතරය සිය ඡන්දය පාවිච්චි නොකොට සිටීමෙන් ස්‌වයං අපරාධයක්‌ කර ගත්හ. දෙමළ ජනතාව සිය ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ප්‍රතික්‍ෂේප කරමින් කොටි සංවිධානය වෙතට ආකර්ෂණය වෙමින් ස්‌වයං ඝාතනයක්‌ කර ගත්හ. මෙම තත්ත්වය යළිත් වරක්‌ දකුණේදී ඇති විය යුතු නොවේ. නොදන්නා සුරදූතයාට වඩා දන්නා යක්‍ෂයා හොඳය. පැසිස්‌ට්‌වාදයට එරෙහි වූ මාර්ටින් නිමොලර් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය අප යළිත් ලංකාවටද ගැලපිය යුතු නැත. නිවැරැදි තීරණය නිමෝලර්ගේ ප්‍රකාශයේ ඉන්නා සියලුදෙනාම ගලවා ගනු ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එකගෙයි කෑමට

පැරැණි වම හෝ අද ජනතා විමුක්‌ති පෙරමුණ මෙන් ඉදිරිපත් වූයේ නැත. අද අප බුක්‌ති විඳින බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වරදාන ජනතාවට ලැබුණේ පැරැණි වමේ අරගල නිසාය. 1964 දී එකල ඉමහත් ප්‍රගතිශීලී කාර්යභාරයක්‌a ඉටු කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ව සමසමාජ පක්‍ෂය සභාග ආණඩුවක්‌ පිහිටුවීම නිසා සමසමාජය කැඩී බිඳී ගියේය. සංස්‌කෘතික විප්ලව සමයේදී මාඕ සිය ලොකු අකුරු පෝස්‌ටරය ලීවේ, "මූලස්‌ථානයට බෝම්බ හෙළනු" කියාය. මාඕ එසේ කීවේ අද ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ සාමාජිකත්වයට ද වේ. එහි අදහස සතුරන් පක්‍ෂ මූලස්‌ථානය අල්ලාගෙන සිටින බවයි. අද රනිල් වික්‍රමසිංහ හා මනෝ ගනේෂන් සමඟ අත්වැල් අල්ලාගෙන කවන්ධයක්‌ කර මත තබාගෙන යන ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වය නැහැවෙන ඕජස්‌ පිරිසිදු කිරීමට එහි සාමාජිකත්වය ඉදිරිපත් නොවනු ඒකාන්තය. සිය දේශපාලනය ආනාගතය හා සුජාතභාවය ගැන සලකා බලා ජනතා විමුක්‌ති පෙරමුණ දැන් කළ යුත්තේ "පොදු අපේක්‍ෂක" කවන්ධයට ගැසූ කර ඉවත් කර ගැනීමය. 1971 හා 1988 - 89 "අති වාමාංශීය" පීලිපැනීම, 2010 දී දක්‍ෂිණාශික පීලිපැනීමෙන් වළක්‌වා ගත හැක්‌තේ එලෙසිනි. මේ දක්‍ෂිණාංශික පීලිපැනීම මගින් ජනරාල්වරයා සමඟ එක්‌වී රට මිලිටරිකරණය කිරීමට යැමේ හා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණය පරදවාලීම ජනතා විමුක්‌ති පෙරමුණේ පහළ සාමාජිකත්වයට බාරය. ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණයේ විසි අවුරුදු විෂය චක්‍රය මෙදා අමුතු වෙසක්‌ ගෙන මතුවන බව දැන් පැහැදිලිය. එදා ඉන්දීය ගුවන් හමුදාව යාපනයට පරිප්පු හෙළන වේලේ රටේ ගුවන්පථය ආරක්‍ෂා නොකිරීම නිසා කටුනායක ගුවන් හමුදා මූලස්‌ථානයට පහර දුන් ජනතා විමුක්‌ති පෙරමුණ අද "පොදු අපේක්‍ෂකයා" දෙමළ ජාතික සන්ධානය සමගින් කුමක්‌ ගිවිස ගත්තේද" යන්නද සලකා බැලිය යුතුය. නයිජිරියානු ප්‍රස්‌ථාව පිරුළකට අනුව කටුස්‌සා, තමාගේම අතින් සිය මවගේ අවමංගල්‍ය උත්සවය කඩාකප්පල් කොට තිබේ.

සේන තෝරදෙණිය

No comments:

Post a Comment