Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Friday 5 March 2010

නව දේශපාලන සංස්‌කෘතිය අහසින් කඩා වැටෙන්නක්‌ නොවේ.


දේශපාලනය නරක දෙයක්‌ නොවේ. එහෙත් නරක මිනිසුන් අතට පත්වීම නිසා වැඩි පුරම නරක්‌ වූ දෙයක්‌ ලෙස දේශපාලනය හැඳින්විය හැකිය. මේ දේශපාලනය යහපත් දෙයක්‌ බවට පත් කර ගත හැක්‌කේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්‌ද?

දැන් කලක සිටම දේශපාලනය ගැන මෙන්ම දේශපාලනඥයන් ගැනද බොහෝ දෙනකු තුළ ඇත්තේ ප්‍රසාදයකට වඩා අප්‍රසාදයකි. දේශපාලනඥයා යනු බොහෝ විට ධනය මෙන්ම මැරබලය හා දුසිරිත යනාදී දුර්ගුණවල සංකේතයක්‌ ලෙස පිළිගැනේ. එහෙත් සියලුම දේශපාලනඥයන් ගැන එබඳු අසුබවාදී දෘෂ්ටියකින් බැලීම සාධාරණ නොවේ. රට, දැය, සමය ගැන අවංක හැඟීම් සහිත බුද්ධිමත් මෙන්ම යහපත් අයද අදත් දේශපාලනයේ විරලව හෝ සිටිති.

මෙම දේශපාලන පරිහානිය වලක්‌වා ගත නොහැකි වුවහොත් අපේ රට දවසින් දවස ප්‍රපාතය කරා යන ගමන කිසිවකුට නොවැළැක්‌විය හැකි බව අප පිළිගත යුතුය. දේශපාලනය සීඝ්‍රයෙන් නරක්‌ වූයේ ගත වූදා දශක තුනක පමණ කාලය ඇතුළත බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමය. එහිදී 1978 ව්‍යවස්‌ථාව සමග උදාවූ සමාජ, දේශපාලන හා ආර්ථිකයට බරපතල චෝදනා පත්‍රයක්‌ද ඉදිරිපත් වේ. එහෙත් 1978 ඊට පෙර තිබුණු දේශපාලනයට පිළිතුරක්‌ ලෙස බිහිවූවක්‌ බව සමහරු අමතක කරති.

1970 ත් සමග බිහිවූ ආණ්‌ඩුව මේ රටට වුවමනා දේශපාලන සංස්‌කෘතියක්‌ වර්ධනය වීමට අවශ්‍ය පසුබිම සකස්‌ නොකළ බව මගේ අදහසයි. 1956 සුප්‍රකට ජනතා ජයග්‍රහණයට මෙන්ම බමුණු කුලයේ බිඳ වැටීමට පසුව රට අපේක්‌ෂා කළ "ජනතා විප්ලවය" සිදු නොවීය. 1970 රජය යටතේ උත්සන්න වූ ආර්ථික අසහනය ඉතා දැඩි විය. මිරිස්‌ හා සහල් පොලු සංකල්පීය වශයෙන් ආර්ථික සංවර්ධනයකට යොමු වුවද ඉන් උද්ගත වු ප්‍රශ්න ආණ්‌ඩුව කෙරෙහි ජනතාව කලකිරවීමටද හේතු විය.

1971 අසාර්ථක තරුණ කැරැල්ල මැඩීම සඳහා රජයට බලවත් ප්‍රයත්නයක්‌ දැරීමට සිදු වූ අතර එම මර්දනය විපක්‌ෂයේ දේශපාලන ජනප්‍රියත්වයටද භාවිත විය. ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය එයට හොඳම නිදසුනය. ඒ වන විට උතුරේ තත්ත්වයද යහපත් නොවීය. 1977 වන විට ජනතාව සිටියේ සමගි පෙරමුණ පරාජය කළ යුතුය. යන අදහස ඇතිවය. 1977 දී එජාපයට නායකත්වය දුන් ඡේ. ආර්. රටට ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ සමාජය හා ධාන්‍ය රාත්තල් අටේ යෝජනාවද ජනතාවගේ ප්‍රබල ආකර්ෂණයට ලක්‌ විය.

1977 මැතිවරණය ඡේ. ආර්. ට 5/6 ක බලයක්‌ ලබා දුන්නා පමණක්‌ නොව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ අන්ත පරාජයටද පත් කරමින් අවසන් විය. විපක්‌ෂ නායක ධූරයට පත්වූයේද ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක අමිර්තලිංගම් මහතාය.

1978 න් ඇරඹුණු අභිනව ව්‍යවස්‌ථාව මෙන්ම එල්ටීටීඊ නැගීමද රට විනාශයකට රැගෙන යැමේ දොරටු දෙකක්‌ විවෘත කළේය. දේශපාලන හා සංස්‌කෘතික පරිහානිය සීග්‍රයෙන් වැඩුණි. ඡේ. ආර්. කල්පනා කළේ බලය ගැන පමණි. ඔහුගේ ව්‍යාවස්‌ථාවේ අභිලාෂය වූයේද පක්‌ෂයත් බලයත් රැකෙන විධිවිධාන ශක්‌තිමත් කිරීමය.

ජනාධිපතිවරණයේ විධායක බලය අධිකරණයත් අභිබවා යන එකක්‌ ලෙස ස්‌ථාපිත කළ ඡේ. ආර්. ඒ බලය දූෂිතයන් රැකීමට පමණක්‌ නොව තම හිතවතුන් බලයට ගෙන ඒමටද භාවිත කළේය. ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්‌ වූ අතුරුමැතිවරණ අහෝසි කළ ඔහු ඉතා බිහිසුණු කූට ක්‍රමවේදයක්‌, අලුත් ව්‍යවස්‌ථාවෙන් ලබා දුන්නේය. රාජ්‍ය නායකයාට අභිමත ලෙස ප්‍රයෝජනයට ගත හැකි එය ජාතික ලැයිස්‌තු ක්‍රමය ලෙස හැඳින්වීය. බැලූ බැල්මට ඉතා යහපත් හා ප්‍රගතිශීලී භාවිතයක්‌ ලෙස පෙණුන ජාතික ලැයිස්‌තු ක්‍රමය සිය දේශපාලන පංචස්‌කන්ධ හා හිතවතුන් පිනවන ක්‍රමයක්‌ ලෙස පිරිහී තිබේ.

ජාතික ලැයිස්‌තුව, රටට වැඩදායි විද්වතුන්ට වෘත්තිකයන්ට දේශපාලනයට අවතීර්ණ විය හැකි අගනා දොරටුවක්‌ වුවද මේ වන විට එමගින් පාර්ලිමේන්තුව නියෝජනය කළ පිරිස දෙස බලද්දී ඒ පරමාර්ථ සාර්ථක වූයේ ඉතා අඩුවෙන් බවද කිව යුතුය. කේ. එන්. චොක්‌සි, තිලක්‌ මාරපන වැනි නීති විශාරදයන්ද, මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය තිස්‌ස විතාරණ වැනි විද්වතුන්ද, ලක්‌ෂ්මන් කදිරගාමර් වැනි පරිණත දේශපාලන ප්‍රාමාණිකයන්ද හැර මේ ජාතික ලැයිස්‌තුවට එක්‌වූ එබඳු අය සිටිත්ද?

ඡේ. ආර්. ජාතික ලැයිස්‌තුව සඳහා කිසියම් දේශපාලන සම්ප්‍රදායක්‌ හඳුන්වා දුන්නේ නැත. එහි විපාක රටට ලැබුණි. ජාතික ලැයිස්‌තුවට තබා මන්ත්‍රීවරුන් ලෙස පුද්ගලයන් තෝරා ගැනීමට වුවද හොඳ දේශපාලන සම්ප්‍රදායන් අවශ්‍යය. හොඳ ප්‍රමිතීන් අවශ්‍යය. ඡේ. ආර්. ගේ සිට චන්ද්‍රිකා දක්‌වා (විඡේතුංග හැර) සිටි හැම ජනාධිපතිවරයෙක්‌ම දේශපාලන සංස්‌කෘතියක්‌ ස්‌ථාපනය කිරීමට වෑයම් කළ බවක්‌ නොපෙනේ.

දේශපාලනය වේවා වෙනත් ඕනෑම දෙයක්‌ වේවා කාලානුරූපව වෙනස්‌ වෙමින් ඉදිරියට ගලා නොයන්නේ නම් එය වර්ධනය නොවේ. සම්ප්‍රදාය යනු නීතියට වඩා බලවත් බව දේශපාලනය තුළින් සනාථ කිරීමට බ්‍රිතාන්‍ය පාලනය ප්‍රමාණවත්ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ පරමාදර්ශය ලෙස අදත් පිළිගනු ලැබේ. එහෙත් 1978 ව්‍යවස්‌ථාවේ සාධනීය අංග පවත්වාගෙන යැමට තුඩු දෙන දේශපාලන සම්ප්‍රදායක්‌ ගොඩනැගී නැත.

ඡේ. ආර්. ගේ දාහත් අවුරුදු පාලනය බිඳ වැටුණේ 1994 චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වීමත් සමගය. ඇය ඉතා ආකර්ෂණීය නායිකාවක්‌ ලෙස බලයට පත් වූවාය. එහෙත් ජනතාව ඇයගෙන් අපේක්‌ෂා කළ වෙනස සිදු වූයේ නැත. විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්‌ දෙන බවට ඇය විසින් දෙන ලද ප්‍රතිඥාව තබා රට තුළ සාධනීය වෙනසක්‌ සඳහා හෝ ඇයට යමක්‌ කළ නොහැකි විය. ඡේ. ආර්. ගේ බහුබූත ව්‍යවස්‌ථාව ලෙස ඇය විසින්ම හඳුන්වන ලද ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමටද අසමත් වූ ඇය රටට සාමය උදාකිරීමට ගත් පියවරක්‌ද නොවීය.

මහින්ද රාජපක්‌ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ මුළු රටම එල්ටීටීඊ ග්‍රහණයට නතු වී තිබියදීය. ඇත්ත වශයෙන්ම උතුරේ ප්‍රභාකරන්ගේ පාලනයක්‌ විය. ඊළාම් සඳහා වුවමනා සාධක රැසක්‌ම ඒ වන විට සම්පූර්ණ වී තිබුණු අතර නෝර්වේ වැනි විදෙස්‌ නියෝජිතයන් සෘජුවම කොළඹින් කිලිනොච්චියට යන සම්ප්‍රදායක්‌ද තහවුරු වී තිබුණි. රනිල්ගේ සටන් විරාම ගිවිසුම බලාත්මක වී තිබුණු අතර අසාර්ථක සාම සාකච්ඡා සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ද වැය කර තිබුණි.

මහින්ද රාජපක්‌ෂ සිය දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංකය බවට පත් කරගත්තේ ප්‍රභාකරන්ටත් ඔහුගේ එල්ටීටීඊ සංවිධානයට මුහුණ දීමත්ය. මහින්දගේ මෙන්ම ශ්‍රීලනිපයේ හා රජයේද නායිකාව වූ චන්ද්‍රිකා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් හොඳටම හෙම්බත්ව සිටියාය. ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බකාරියකට සිය ඇසක්‌ දන්දීමටද චන්ද්‍රිකාට සිදුවී තිබුණි.

මේ සියලු තතු උපේක්‌ෂාවෙන් මෙන්ම විමසුම් ඇසින්ද බලා සිටි මහින්ද රාජපක්‌ෂ මුලදී ප්‍රභාකරන් සමග සාකච්ඡා මගින් ප්‍රශ්නය විස¹ ගැනීමට කල්පනා කළේය. එහෙත් එල්ටීටීඊ ප්‍රහාර යළිත් රටම භීෂණයෙන් වෙලා ගත්තේය. මේ වන විට මහින්ද සිය සහෝදරයා වූ ගෝඨාභය රාජපක්‌ෂට ආරක්‌ෂක ලේකම් පදවිය පිරිනමා අවශ්‍ය උපදෙස්‌ සියල්ලද ලබා දී තිබුණි. ගෝඨාභය යනු ජෙනරාල් කොබ්බෑකඩුව සමග ක්‍රියාන්විතවලටද එක්‌වූ සෙන්පතියෙකි. හේ තමාට වුවමනා පරිදි හමුදාව සකසා ගෙන සූදානම් වූයේ ප්‍රභාකරන්ට මුහුණදීමටය.

මාවිල්ආරු වතුර ප්‍රශ්නය ප්‍රභාකරන් හෝ නොසිතූ ලෙස එල්ටීටීඊ ගමනක අවසානයේ පළමු පියවර බවට පත්විය. මාවිල්ආරු සිට නන්දිකඩාල් කලපුව දක්‌වා ගිය මානුෂික මෙහෙයුම අවසන් වූයේ කිසිදිනක යුද්ධයකින් පරාජය කළ නොහැකි යෑයි කී වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ද අවසන් කරමින්ය. තිස්‌ වසරක්‌ ඉක්‌මවූ ත්‍රස්‌තවාදය පරාජය කළ මහින්ද රාජපක්‌ෂ රට එක්‌සේසත් කළ රාජ්‍ය නායකයා මෙන්ම ශ්‍රී ලංකාවට දෙවන නිදහස දිනා දුන් නායකයා ලෙසද ප්‍රකට විය. මේ විජයග්‍රහණය පමා කිරීමට මෙන්ම එයට හරස්‌ වූ සියලු ජාතික හා විජාතික බලවේග සියල්ල පසු බැස්‌වීමටද ජනාධිපති රාජපක්‌ෂ සමත් විය.

දැන් උදාවී ඇත්තේ මහින්ද රාජපක්‌ෂගේ විධායක ජනාධිපති ධුරයේ දෙවන කාලයයි. ඒ සඳහා තවම නිලවශයෙන් දිවුරුම් දී නැති වුවද දැන් රට බලා සිටින්නේ ඒ සමග ඇතිවිය යුතු යහපත් හා විශ්වාසනීය වෙනස්‌කම් පිළිබඳවය. මා දකින ආකාරයට එහි මුල්ම පියවර ඔහු ඔහුගේම පාර්ලිමේන්තුවක්‌ ඉල්ලා සිටීමය. මෙතෙක්‌ ඔහු සමග වූයේ සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් සමග එජාපයෙන් එකතු කරගත් මන්ත්‍රීවරුන්ගෙන්ද සමන්විත පාර්ලිමේන්තුවකි. එයට ජවිපෙන් එක්‌වී පසුව ජානිපෙ බවට පත්වූ මන්ත්‍රීවරු පිරිසක්‌ද අයත් වූහ.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂට ඒ සියලු දෙනාටම පාහේ ඇමැතිධුරයක්‌ හෝ පිරිනැමීමට සිදුවිය. ඒ ඇමැති ධුර භාරගත් පිරිස අතර සිටි සමහරුන්ට විවිධ චෝදනාද එල්ල විය. සමහරුන්ට බාර දුන් විෂය ක්‌ෂේත්‍රද බරපතල පරිහානිවලට ලක්‌විය. දූෂණය, නාස්‌තිය පිළිබඳව බරපතල චෝදනා නැගුණි. භීෂණය පිළිබඳවද චෝදනාවට ලක්‌වූ සමහරු වූහ. එහෙත් ඒ සියල්ල දෙසම උපේක්‌ෂාවෙන් බලා සිටි ජනාධිපතිවරයා පළමුව කළේ ජනතාව ඉදිරිපිටට ගොස්‌ තමන්ට අලුත් ජනවරමක්‌ ඉල්ලා සිටීමය. ජනතාව ඔහුට ඉතා පැහැදිලි ජනවරමක්‌ (ඡන්ද ලක්‌ෂ 18 කට වැඩි) ලබාදුන්හ.

මහින්ද රාජපක්‌ෂ සිය දෙවන ධුර කාලය (මෙම ක්‍රමය අහෝසි නොවන්නේ නම්) සඳහා අභිනව පාර්ලිමේන්තුවට 2/3 ක මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඉල්ලා සිටියි. ඒ පිරිස අතර මෙතෙක්‌ ඔහු සමග සිටි මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක්‌ද අලුත් මුහුණු කීපයක්‌ද වෙති. දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් තරග වැදී සිටින අයගෙන් රටට වැඩක්‌ කළ හැකි නියෝජිතයන් පිරිස තෝරා එවීමේ වගකීම දැන් තිබෙන්නේ ජනතාව අතේය.

ජනාධිපති රාජපක්‌ෂ පැරණි කුට්‌ටම අනා ඇතැයි දැනට ඉදිරිපත්ව සිටින අපේක්‌ෂක ලැයිස්‌තු දෙස බලා සමහරු විවේචනයක්‌ද ඉදිරිපත් කර සිටිති. මේ විවේචනය තමන්ට එන බව පළපුරුදු දේශපාලන නායකයකු වන ඔහු දැන සිටි බවද නිසැකය. අද මේ රටේ තිබෙන දේශපාලන (අ) සංස්‌කෘතිය අනුව මෙයට වඩා වෙනසක්‌ කිරීමද දුෂ්කරය. එහෙත් ඒ වෙනස කළ හැකි පිරිසක්‌ද වෙති. ඒ මේ රටේ ඡන්ද බලය හිමි ජනතාවයි.

ජනාධිපතිවරයා සිය අපේක්‌ෂකයන් සියලු දෙනාම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබිsයසට රැගෙන ගොස්‌ ආශීර්වාද කරවා, උපදෙස්‌ද ලබාදී අපේක්‌ෂා කළේ කුමක්‌ද? අනුරාධපුරය යනු රටේ ජාතික සංස්‌කෘතික පුනරුදයේ නිජබිමය. බොදු ජනතාවගේ උතුම් පූජා භූමියය. ඒ නිසා එයින් රටට දුන් සංකේතාත්මක පණිවිඩය වූයේ සිය අනාගත මන්ත්‍රීවරුන් මේ රටේ උරුමය මත දෙපා රඳවා සිටින බව පෙන්වීමය. (අන්‍යාගමික අපේක්‌ෂකයන් සඳහාද වෙනම වැඩ සටහන් ක්‍රියාත්මක විය.)

කෙසේ හෝ ජනාධිපතිවරයා ඉපැරණි සම්ප්‍රදායන් මත රැඳෙමින් සිය දේශපාලන ගමන යා යුතුය යන අධිෂ්ඨානයේ පිහිටා සිටින්නෙකි. සිංහල බෞද්ධ නායකයන් හැම විටම සියලු රටවැසියන් කෙරෙහි දක්‌වන ලද්දේ සම මෙත් සිතකි. සිංහල බෞද්ධයා කිසිවිටෙක අන් අය පීඩාවට පත් නොකරන්නෙකි. එහෙත් අනුරාධපුර ප්‍රතිඥවේ උණුසුම යැමටත් පෙරම පක්‌ෂයේම සමහරුන් අතර යුද්ධ හටගෙන තිබීම සංවේගයකි. ඒවාට සම්බන්ධ වූවෝ කවරුහුදැයි අපි නොදනිමු. එහෙත් ඒ සියලු ප්‍රචණ්‌ඩවාදී පුද්ගලයන්ට පාඩමක්‌ ඉගැන්වීමේ පරම බලය ඇත්තේද මනාපයට බව පෙන්වා දිය යුතුය.

මෙවර ඉදිරිපත්ව සිටින අය පිළිබඳව හොඳින් කිරා, මැන, බලා රටට වැඩදායී පිරිසක්‌ තෝරා දීමේ වගකීම දැන් ජනතාවට ලැබී තිබේ. ඒ බලය, ඒ ශක්‌තිය ජනාතාවගෙන් උදුරා ගත නොහැකිය. එනිසා කලහකරුවන්, මැරයන්, දූෂිතයන් යනාදි සියලු පුද්ගලයන් බැහැර කරමින් රටට වුවමනා අභිනව දේශපාලන සංස්‌කෘතිය ගොඩ නැඟීමට හැකි නැණවත්, යහපත්, ගුණවත්, පිරිසිදු පිරිසක්‌ සඳහා ඔබ ඔබගේ මනාපය පාවිච්චි කළ යුතුය. ඒ ජාතික වගකීම ඉටු කර මේ දුෂීත දේශපාලනය වෙනස්‌ කිරීම සඳහා දැඩිව කැපවෙමු. නව දේශපාලන සංස්‌කෘතිය යනු අහසින් කඩා වැටෙන්නක්‌ නොව ජනතාව විසින්ම සකසාගත යුත්තකි. මේ එයට ලැබී තිබෙන ප්‍රබලම අවස්‌ථාවයි.

By courtesy of: www.divaina.com
Published 05th March, 2010.

No comments:

Post a Comment